Monday, September 21, 2015

පියාගෙන් දියණියට දුරකථන ඇමතුමක් ......

එක්තරා පියෙකු රාජකාරියේ යෙදී සිටියදී තම නිවසට දුරකථන ඇමතුමක් ලබා ගත්තා. එයට පිළිතුරු දුන්නේ ඔහුගේ අට හැවිරිදි දියණිය.
beutiful little girl holding a telephone receiver answering
පින්තූරය ගත්තේ : http://www.awesomequotes4u.com/

"කොහොමද රත්තරං. මේ තාත්තා. අම්මා ළඟ ඉන්නවද ?"
"නෑ තාත්තී. අම්මා පෝල් මාමත් එක්ක උඩ තට්ටුවේ නිදියන කාමරේ"  කුඩා දැරිය උපහාසයෙන් මෙන් පවසා සිටියා.
කුඩා ඉසිම්බුවකින් නැවතත් පියා හඬ අවධි කළා
"ඒ වුණාට රත්තරං ඔයාට පෝල් කියලා මාමා කෙනෙක් නෑනේ!"
"ඕහ් ! ඔව් ඉන්නවා අන්න එයා මේ දැන් උඩ තට්ටුවේ අම්මත් එක්ක"
තවත් කෙටි නිහැඬියාවකින් පසු
"අහ් ! හරි. එහෙනං මෙන්න මේකයි දැන් ඔයා කරන්න ඕනේ : ෆෝන් එක පැත්තකින තියලා, උඩ තට්ටුවට දුවලා, දොරට තට්ටු කරන්න. ඊට පස්සේ කෑ ගහලා කියන්න, තාත්තාගේ කාර් එක ගේට්ටුව ළඟ" කියල.
"හරි පොඩ්ඩක් ඉන්න තාත්තේ"
ටික වෙලාවකට පසු කුඩා දැරිය දුරකථනය වෙත පැමිණ
"හරි තාත්තේ" යනුවෙන් පිළිවදන් දුන්නාය.
"මොනවද වුණේ රත්තරං ?"
"අම්මා හොඳටම බය වෙලා හෙළුවෙන්ම ඇඳෙන් බිමට පැනලා, කෑගහගෙන කාමරේ වටේ දිව්වා.  ඊට පස්සේ ඇදගෙන වැටිලා එයාගේ ඔළුව පඩිපෙළේ  වැදුණා. දැන් එයා හෙලවෙන්නේ වත් නෑ. 
"පෝල් මාමට මොකද වුණේ ?" පියා විමසුවා.
"එයා ජනේලයෙන් පැන්නා ස්විමිං පූල් එකට. මං හිතන්නේ ඔයා ගිය සතියේ වතුර අස් කළා කියලා එයා දැනගෙන ඉඳලා නෑ. එයාව අඩියටම වැටිලා මම හිතන්නේ දැන් එයා මැරිලා". 
 ඉතාම දිගු නිහැඬියාවකින් පසුව යලිත් වරක් පියා හඬ අවධි කළා
"ස්විමිං පූල් එකක් !!!, ඒ වුණාට අපිට පූල් එකක් නෑනේ. මේ 486-5731 ද ?"
"නෑ. මේ 486-5713"
 "සොරි රෝන්ග් නම්බර් !!!!"
 http://www.awesomequotes4u.com/ වෙබ් අඩවිය ඇසුරෙනි.

Wednesday, September 16, 2015

එළුපැටියාගේ කතා - දෙවන කොටස ......

එළුපැටියාගේ කතාවට මේ තරම් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියලා මම හිතුවේ නෑ. බලාගෙන යනකොට මේක පොදු සමාජ ප්‍රශ්නයක්. අවිවාහක අයට මේක තවමත් ඒ තරම් ගැටළුවක් නොවුණත්, ඒ අයගේ පවුල් වලට සමීප මේ වයස් කාන්ඩේ දරුවන් ඉන්නවා. එහෙමත් නැතිනම් බොහෝදෙනෙකුට තමාගේ ළමාවිය සිහිපත් වෙනවා. තවත් දෙයක් බොහෝදෙනෙක් උත්සාහ කරනවා එළුපැටියාගේ කතාම කියන්න. එහෙම අවශ්‍ය නෑ. තමාගේ දරුවා වඩා රුචිකත්වයක් දක්වන දෙයක් මේකට සම්බන්ධ කර ගන්න පුළුවන්. හැබැයි එළුපැටියා කියන්නේ ළමයින්ගේ සිත් තුල චිත්තරූපයක් මවන්න පහසු සුලබ අයිකන් එකක්(සංකේතයක්).  එහෙම එකක් දුන්නම එයාලත් පොඩි ෆැන්ටසි එකකට වැටෙනවා. ඕනෑම දෙයක් වැඩියෙන් ගත්තම මත් බවක් ඇති වෙනවා වගේ මේ එළුමතයත් ළමයින්ට පුරුදු කලාම අහපු ගමන් නින්ද යන්නත් පුළුවන්. සමහරවිට ඒකට ඇතිවෙන ඉන්ටරස්ට් එකත් එක්ක ඉතා අවධානයෙන් ඉන්නත් පුළුවන්. 

little goad climbing a rock nearby river followed by a pig
පින්තූරය ගත්තේ : www.dailymail.co.uk
එළුපැටියෙකුගේ රූපයක් හොයන්න කරපු ගූගල් සර්ච් එකේදී හමු වෙච්ච මෙන්න මේ රූපයට මගේ හිතේ එකවරම කතාවක් මැවුනා. කොහොමත් මම එළුපැටියා ගඟේ නාපු කතාවක් කියලා තිබුණ නිසා මේ පින්තූරය වඩාත් සිත් ගත්තා. එළුපැටිගේ කතා ඉල්ලන ය වෙනුවෙන් මේ රූපයට ගැලපෙන්න කතාවක් ලියන්න මම හිතුවා. ටැබ්ලට් එකක් ස්මාර්ට් ෆෝන් එකක් තියෙන අයට මේ පින්තූරය පෙන්වලා කතාව කියන්න අප්ටන් ගන්න පුළුවන්(හරියට අර දැන් ෆෝන් එකෙන් ලිරික්ස් බලාගෙන සිංදුව කියනවා වගේ).

නිල් පාටින් තියෙන්නේ උපදෙස්. මේක බලාගෙන කතාව කියවනවා නම් ඒ කොටස කියවන්න එපා.

ඔන්න පුතේ එළුපැටියා දවසක් හොඳටම අව්ව පායලා තියෙන වෙලාවක එයාලා ඉන්න වත්තෙන් එලියට ඇවිත්, තාර පාර දිගේ ටොකස්-ටොකස් ගගා ඇවිදිනවා(මේ කොටස කියත්දී ඇඟිලි දෙකෙන් දරුවාගේ ඇඟේ ඇවිදිනවා වගේ පෙන්වන්න. මේකත් පුරුද්දක් විදියට කරන්න - මෙහම කරත්දී එයාලට කිති කැවන්නේ නැති විදියට කරන්න වග බලා ගන්න. එහෙම වුනොත් එළු ෆාම් එකක්ම ඕනෙ වෙයි)
es.123rf.com
 මෙහෙම යනකොට එයා දැක්කා හැරිලා පහලට යන්න තියෙන පාරක්. ඒ පාරේ එළුපැටියා කවදාවත් ගිහින් නෑ, අම්මලා-තාත්තලා එක්කවත්. ඒ වුණාට එයාට හිතුණා යන්න ඕනේ කියලා. තනියම ආව හින්දා පොඩ්ඩක් බය හිතුණා. ඒ වුණාට එයාට යන්න ඕනේ වුණා. 
එළුපැටියා පොඩ්ඩක් වටපිට බැලුවා. පාරේ වෙන කවුරුත් හිටියේ නෑ. එළු පැටියා ටොකස්-ටොකස් ගාලා හයියෙන් දුවගෙන ගියා. එහම යනකොට ලොකු ගස් තියෙන කැලෑවක් දැක්කා. මේ වෙලාවේ එළුපැටියාට බඩගිනි නෑ. එයා ගෙදරින් හොඳටම කාලා හිටියේ. ඉතිං ඒ කැලාවට පොඩ්ඩක් එහා පැත්තේ එයා දැක්කා පොඩි වතුර වලක් වගේ එකක්. එයා එතැනට ගියා. අම්මෝ !!! මෙන්න ලොකුම-ලොකු වතුර වළක්. එළු පැටියා එහෙම හිතුවා. එයා කලින් ගඟක් දැකලා තිබුනේ නෑ. ගොඩක් ඈතට වෙනකම්ම වතුර පිරිලා. එළු පැටියා දුවලා-දුවලා ගියා වතුරට. ඒ වුණාට එයාට අම්මලා කියපු දේවල් මතක් වෙන්න පටන් ගත්තා.
කවදාවත් ලොකු  කෙනෙක් නැතිව වතුරේ නාන්න යන්න එපා කියලා(මේකෙන් අපි දරුවාගේ හිතට දානවා පොඩි අවවාදයක්). ඒ වුනාට එයාට ආසා හිතුණා. එයා දැක්කා කවුරුහරි වතුරේ තියෙන ගල උඩ ඉන්නවා. ඒ හින්දා එළුපැටියට  බය නැති වුණා. අවුවේ ඇවිදින් එයාට හොඳටම රස්නේ නිසා නාන්නම ඕනේ වුණා. වැඩිය හවස් වෙලාත් නැති නිසා නාන්න හොඳ වෙලාව. එයා පැන්නා වතුරට. එළුපැටියා මීට කලින් ලොකු වතුර වළක නාලා නෑ. ඒ නිසා එයා දන්නේ නෑ ගඟ ගොඩක් ගැඹුර බව. 
හරිම සීතලයි. එළු පැටියා තව ටිකක් ගැඹුරට ගියා. දැන්නම් ඔලුව උස්සලා තමයි හුස්ම ගන්න පුළුවන්.  ගල උඩට වෙලා අවුව තැපගෙන හිටපු ඌරු පැටියාට තේරුණා එළුපැටියාට පීනන්න බැරි බව. එයා වතුරට පැනලා එළුපැටියා ගාවට ආවා. එයාගේ කකුලෙන් ඇදගෙන ගල උඩට අරගෙන ගියා. ගිය ගමන් එළු පැටියා ඇඟ හයියෙන් හොලවලා වතුර ටික ගසලා දැම්මා. දැන් දෙන්නම අව්ව තපිනවා. ටිකක් වෙලා යනකොට එළුපැටියා හොඳටම වේලුනා. එයාට ගෙදර යන්න ඕනේ. ඒ වුණාට කොහොමද යන්නේ වතුරෙන්. 
එයා ඌරු පැටියගෙන් ඇහුවා
 "ඔයා කොහොමද වතුර ගෑවෙන්නේ නැතිව යන්නේ?" කියලා.  
"එන්නකෝ ගල  උඩට. මම ඉන්නේ ගඟේ අනිත් පැත්තේ. ඒ පැත්තට යන්න පුළුවන් වතුර ගෑවෙන්නේ නැතිව" ඌරු පැටියා කිව්වා.
"ඉතිං මට යන්න ඕනේ අනිත් පැත්තටනේ. කොහොමද යන්නේ ?"
 "හරි ඔයා නගින්න මගේ පිට උඩට. මම ඔයාව අනිත් පැත්තෙන් තියන්නම්"
ඒ පාර එළුපැටියා නැග්ගා ඌරු පැටියාගේ පිට උඩට. එයා මහත හින්දා, එළුපැටියට ඉන්න ඉඩ තිඑයෙනවා. ඌරු පැටියා, එළු පැටියව ගඟේ අනිත් පැත්තෙන් තිබ්බා.
 "බොහොම ස්තුතියි යාලුවා" එළු පැටියා කිව්වා.
"හරි එහෙනං අපි පස්සේ හම්බ වෙමු" ඌරු පැටියා කිව්වා.

එළු පැටියාට හරිම සන්තෝසයි. ඒ වුණාට පොඩ්ඩක් බයයි. එළු පැටියා ගෙදර දිව්වා.  

Monday, September 14, 2015

එළුපැටියාගේ කතාව - කුඩා දරුවන් සිටින දෙමව්පියන් වෙනුවෙනි ......

මට බ්ලොග් ලිවීම එපා වෙලා කියලා බොහෝ දෙනෙකුට හිතෙන්න ඇති. පටන් ගත්ත කාලේ සතියකට හතරක් හෝ තුනක් බ්ලොග් පොස්ට් දමමින් අවුරුදු තුනක් අඛණ්ඩව කරගෙන ආපු මේ ව්‍යායාම එක පාරටම කඩාකප්පල් වීම, බ්ලොග් කෙරුවාව ගැන දන්න හත් දෙනෙකුගෙන් ඇහුවොත් උත්තර හතක් ලැබෙන්න පුළුවන්. මම මේ ප්‍රශ්නය මගෙන්ම ඇහුවත් මට දෙන්න තියෙන උත්තරය "වෙලාවක් නෑ" කියන එක.  කෙනෙක්ගේ හිතට එක පාරටම එන්න පුළුවන් තර්කය තමයි "එතකොට කලින් වෙලාව හොයා ගත්තේ කොහොමද ?" කියන එක. මට මතකයි මගේ එක් රසිකාවියක් මගෙන් කාල කළමනාකරණය ගැන උපදෙස් ගන්න ඕනේ කියලා කමෙන්ට් කරා. නමුත් ඒ කතාවට වැඩියෙන්ම හිනා ගියේ මට. හොඳයි අපි ඒ ගැන පසුව කථා කරමු. [හැබැයි මට බ්ලොග් පොස්ට් එකක් නොදා වැඩි කාලයක් නිකන් ඉන්න නොදෙන බ්ලොග් හිතවතෙක් ඉන්නවා. ඒ තමයි ගල් බලකායේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ (අධි+යක්ෂ) වරයෙකු වන මෙන්ඩා නොහොත් සංජීව මෙන්ඩිස්. ගිය සිකුරාදා දුරකථනය ඇමතුමක්ම දීලා ඇහුවා මොකද වුණේ කියලා. ඉතින් මේ ලියන්නේ මෙන්ඩාගේ ඒ සිහි කැඳවීමට ගරු කිරීමක් වශයෙන්. අනිත් දේ තමයි මගට ලියලා අත් ඇරපු බ්ලොග් පොස්ට් දහයකට වඩා තියෙනවා. මේක අදට ලියන දෙවෙනි පොස්ට් එක].

හරි මම කෙටියෙන් කියන්නම්. කලින් මම මේකට වෙන් කර ගත්ත වෙලාව රාත්‍රී දහයත් දෙකත් අතර කාලය. මේ කියන කාල සීමාවේදී මම අවම වශයෙන් නිදා ගත්තේ පැය හතරක්. උපරිම වශයෙන් පැය පහක්. මම කම්මැලි වෙලාද ? නෑ. මම සේවය කරන තැනට නිතර යනෙන ඉන්ෆොර්මික්ස් ඉංජිනේරුවෙක් තමයි මිගාර කියන්නේ. ඔහු පරිගණක ලෝකය ගැන ඉතාම අවධානයෙන් ඉන්න කෙනෙක්. ඔහු මගේ ඉතාම කුළුපග මිතුරෙක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. මම ඉන්න තැනට එන ඒ වගේ අයට තේ එකකින් සංග්‍රහ කරන එක මගේ සිරිතක්. ටික කාලෙකින් තමන් කන්න අරන් එන කෑම එක මගෙත් එක්ක බෙදාගෙන කරන්න තරම් ඔහු මා හා හිතවත් වුණා. ඒ නිසා මිගාර දන්නවා මම දවසට නිදියන්නේ පැය හතරක් පහක් බව.  දවසක් මට ඔහු දැඩි අවවාදයක් දුන්නා. 
"උඹ දන්නවද දාස් ගුප්තා කියන්නේ කවුද කියලා ? දාස් ගුප්තා කියන්නේ ඉන්දියාවේ සැප් වල සී.ඊ.ඕ. වයස අවුරුදු 42යි. නිදියන්නේ දවසට පැය හතරයි. හොඳට එක්සර්සයිස් කරලා හිටපු පොරක්. චෙන්නායි මැරතන් එකටත් දුවලා තියෙනවා. ඉතිං කියන්න ඕනේ නෑනේ. හොඳට ෆිට්නස් තිබුණා. මැරුණ හේතුව හොයාගෙන ගියාම අන්තිමට අහු වෙලා තියෙන්නේ නින්ද අඩු කම කියලා. ඒ නිසා අද ඉඳලා පැය හයක්වත් නිදියන්න බලපන් මචං"
මිගාරගේ මේ ප්‍රකාශය මගේ හිත සසල කළා. හැම පැත්තකින්ම පරිපූර්ණ පුද්ගලයෙක් වෙච්ච දාස් ගුප්තාට ඒ වගේ ඉරණමක් අත් වුණේ, විවේකය ගැන හිතන්නැතිව ඔහුගේ ව්‍යාපාර කටයුතු කිරීම. ඉතිං සයිබර් කටයුතු සඳහා මම වෙන් කරපු කාලය සීමා කරන්න මම තීරණය කළා. මුලින් දහයට නිදා ගත්ත මට පැය හතරකින් ඇහැරුණා. මේක මගේ කාර්යාලීය සගයා එක්ක මම කථා කළා. එතකොට ලැබුණ උපදෙස තමයි නිදියන්න බැරි වුණත් ඇඳට වෙලා ඇස් පියාගෙන ඉන්න කියන එක. පස්සේ පස්සේ වැඩේ හරිගියා. දැන් මම අවම වශයෙන් පැය හයක් නිදා ගන්නවා. 

නමුත් ඔය අතරවාරයේ පහුගිය චන්දෙ කිට්ටුවෙලා මගේ පපුව තද වෙන ගතියක් ආවා. ඒ එක්කම කලන්තේ වගේ ගතියක්. මම හිතුවා වැඩේ හරියාගෙන එනවා තමයි කියලා. පහුගිය දහතුන්වෙනිදා වරුවක් නිවාඩු දාලා මම ගිහින් හොස්පිටල් ඇඩ්මිට් වුණා. කරන්න තියෙන පරීක්ෂණ බොහොමයක් අවසානයේ "නෝමල්" කියන උත්තරය ලැබුණා. පස්සේ ඒ දවස් දෙක ඇතුලේම මාව මුණගැහෙන්න අවශ්‍ය වෙච්ච මගේ මිතුරෙක් එතනට ආවා. ඔහු මට කිව්වා ඔයාට ගැස්ට්‍රික් වෙන්න ඇති කියලා. පස්සේ තමයි මට වැඩේ මීටර් වුණේ. අර කලන්තේ වගේ ගතිය කණ බ්ලොක් වුණාම වෙන එක බව මට තේරුණා. මම දොස්තරලාට ඒ කථා නොකියා හෙමිහිට ඩිස්චාර්ජ් වෙලා ගෙදර ගියා. දවසකට බොන කෝපි ප්‍රමාණය බිංදුව කළාම වැඩේ ගොඩ ගියා.

හරි අද ලියන්නේ මොනවද කියලා කල්පනා කරලා. කාලයක් ඉඳන් ලියන්න ඕනේ කියලා හිතාගෙන හිටිය මාතෘකාවක් ලියන්න පටන් ගත්තා. එක දිගට කාලයක් නොලියා හිටියම ඇති වන අකාර්යක්ෂමතාව නිසාද කොහෙද වෙනදා වේගයෙන් ලියන්න බැරි වුණා. නමුත් මගේ සයිබර් අන්තය වෙනුවෙන් වෙන්වුණු ෆේස්බුක් ගිණුමේ පහලට ගියාම මිතුරෙක් ෂෙයාර් කරලා තිබුණ මෙන්න මේ වීඩියෝව  සිංගල් ෆාදර් ස්ටේටස් එකේ ඉන්න මම, දියණිය නිදි කරන්න ගිය වෙලාවට කරපු පුංචි සොඳුරු ප්‍රයෝගයක් මතකයට ගෙන ආවා. පසුව මේක මගේ දියණිය හොබී එකක් කර ගත්තා. මුලින්ම බලන්නකෝ වීඩියෝ එක. 
මෙතැන එළුවෝ රෑණක්ම සිටියත් මගේ කතාවට පාදක වෙන්නේ එක එළු පැටියෙක් විතරයි. කුඩා ළමයි නිදි කරවන්න තිබෙන එක ඔප්ෂන් එකක් තමයි එයාලට කතා කීම. නමුත් මේක නොනවතින රැල්ලක් වගේ දිගටම යන වැඩක්. ඉතින් අපේ කතා ගබඩාව අපිටත් නොදැනීම හිස් වෙනවා. එක කතාවක් දෙවෙනි වතාවට කියනකොට ළමයින්ට නිදිමත නැති වුනොත් "අයියෝ තාත්තේ ඕක කලින් අහලා තියෙනවා" කියලා ලත් තැනම ලොප් කරලා දානවා. අපිත් ඉතිං නිදිමරගාතේ විශාල අපාහසුතාවකට පත් වෙනවා. මෙහෙම කතා කියාගෙන යනකොට අපිට නින්ද යන අවස්ථා වැඩියි. බොහෝවිට ළමයා අපව අවදි කරනවා. තවත් දෙයක් කියාගෙන යන කතාව පැත්තක තියලා එකපාරට වැරදි වචන කියනව. වැරදි කියන්නේ කුණුහරුප නෙවෙයි. නමුත් තුන්ලෝකේ නැති වචන. ඒ අපට නින්ද ගිහිං හීනෙන් දකින ඒවාට අදාලා වචන නින්දත් නොනින්දත් අතර මහා හයියෙන් කියවෙන නිසා.

දවසක් මට කියන්න කතා නැති වෙලාවක මම මගේ දියණියගෙන් ඇහුවා "පුතා දන්නවද එළුපැටියාගේ කතාව ?" කියලා. එහෙම කියත්දී මගේ හිතේ කිසිම කතාවක් ගැන අදහසක් වත් තිබුණේ නෑ. දියණිය එක පයින්ම කිව්වා "නෑ තාත්තේ කියන්න" කියලා. මම හිතට එන විදියට ගොතලා කතාවක් කිව්වා. හරියටම නැතත් මෙන්න මේ වගේ. මේ වගේ කතාවල විශේෂය තමයි එකම කතාව දෙපාරක් කියවෙන්නේ නැති එක. ඒ නිසා මේ එළුපැටියාගේ කතා සීරීස් එකක් බවට පත් වුණා.

"ඔන්න පුතේ දවසක් එළුපැටියෙක් එයාගේ අම්මා ඉන්න තැනින් එලියට ඇවිත් පාරදිගේ තනියම යනවා ටොක ටොක ගගා. එහෙම යනකොට එයා දැක්කා ළමයි කට්ටියක් සෙල්ලම් කරනවා. එළුපැටියාටත් හිතුණා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. එයා ළමයි ගාවට ගිහිං "බෑහා - බැහා" ගාලා කිව්වා මටත් සෙල්ලම් කරන්න ඕනේ කියලා. ළමයින් හිතුවේ එයාට බඩගිනි වෙලා කියලා. ඉතිං එයාව පැත්තකට එක්කන් ගිහිං කොළ අතු ටිකක් කඩලා දුන්නා. එළුපටියා ආයි "බැහා - බැහා" කිව්වා. ළමයි හීතුවා එයා අඬන්නේ වතුර ඕනේ වෙලා කියලා. ඒ පාර වතුර බාල්දියක් ගෙනත් එළුපැටියා ලඟින් තිබ්බ. අවුවේ ඇවිත් එළුපැටියාටත් බඩගිනි නිසා එයා වතුර ටික බීගෙන බීගෙන ගියා. එහෙම බීලා ආයෙත් "බැහා-බැහා" කියන්න පටන් ගත්ත. ළමයෙක්ගේ අතේ තිබුණ බොලේ බිමට වැටෙනවා එළුපැටියා දැක්කා. එයා ඒක කටින් අරගෙන දුවගෙන දුවගෙන ගියා. ළමයි කට්ටිය හිතුවේ එයාලාගේ බොලේ එළුපැටියා කන්න හදනවා කියලා. එහෙම ටිකක් දුර දුවගෙන ගිය එළුපටියා බොලේ ටිකක් දුරට වීසි කළා. ළමයි පස්සෙන් දුවගෙන ගිහිං බොලේ ගත්තා. එළුපටියා ආයෙත් ගිහිං බොලේ ඉල්ලනවා "බැහැ-බැහැ" කියලා. ළමයි බලනවා මේ මොකද කියලා. ඒ පාර ඒ ළමයා බොලේ ටිකක් දුරට විසි කළා. එළුපැටියා දුවගෙන දුවගෙන ගිහිං බොලේ අහුලාගෙන අරං ඇවිත් කටින් වීසි කළා. ළමයින්ට තේරුණා එළුපැටියාට සෙල්ලම් කරන්න ඕනේ වෙලා තමයි ආවේ කියලා. ඊට පස්සේ හැමදාම එළුපැටියා ළමයින් එක්ක සෙල්ලම් කළා. 
මෙහෙම කතාව කියලා ඉවර වෙනකොටත් ළමයා නිදි නැතිනම් එක්කෝ නිදිමත නැහැ. නැතිනම් ඔබ අසාර්ථකයි. එහෙම වුනා කියලා අධෛර්යයට පත් වෙන්න හොඳ නෑ. දිගටම කියන්න ඕනේ. මේ වගේ කතා ගොඩක් මම මේ වෙනකොට කියලා තියෙනවා. මගේ කෙල්ල දැන් ආසාවට එළුපැටියගේ කතාවක් කියන්න කියලා කියනවා. ඒ එළුපෑටියාගේ කතා මාලාව අපි දෙන්නටම වින්-වින් තත්වෙට පත්වුණා නිසා. මම කියපු කතා අතර එළුපැටියා ගඟේ නාපු කතාව, එළුපටියා ෆූඩ් සිටි ගිය කතාව, එළුපටියා බීච් ගිය කතාව, එළුපැටිය ඉස්කෝලේ ගිය කතාව, එළුපැටියා කෝච්චියේ ගිය කතාව, එළුපැටියා ටී.වී. බලපු කතාව, එළුපැටියා කම්පියුටර් එක්ක වැඩ කරපු කතාව, එළුපැටියා කාර් එකේ ගිය කතාව සහ මෙකී නොකී ඕනෑම මාතෘකාවක් හදාගෙන කියන්න පුළුවන්.  දැන් තියෙන්නේ ඔයාලගේ අවස්ථාව. මේක උත්සාහ කරලා බලන්න. අත්දුටුවයි-ප්‍රත්‍යක්ෂයි.

මේක කුඩා පොත් පිංචක් කරන්නත් හිතුන වෙලාවල් තියෙනවා. බලමු ඉදිරියට. එහෙනම් පොඩි මෙන්ඩාට මේවා කියලා බලන්න කියලා මම ලොකු මෙන්ඩාට ආරාධනා කරනවා. හැබැයි එකාගෙන් ගුටි කන ඒවාට මම වග කියන්නේ නෑ. තව ටික දවසකින් අපේ පත්තර මල්ලිටත් මේවා වැදගත් වේවි. 

ඉස්සන්, මගුරන්, ලොකු වැලිගොව්වන් ....

89/90 අඳුරු යුගය(Dark Era 89/90) (9) pinth (1) අතීත සොඳුරු මතක (Fond Memories / Nostalgic stuff) (14) අතීතකාමය (Nostalgia) (8) අනතුරු (Accidents) (1) අමතක වන්නට පෙර(Before Forget it (7) අවන්හල් (Restaurants) (4) ඇතුල් පැත්ත ( Inside Story ) (1) ඉවුම්-පිහුම්(Cooking) (1) එළුපැටියාගේ කතා (Baby Goat Stories) (1) ඔබේම දෑතින් (Doo it yourself) (7) කළුතර මහා විද්‍යාලය ( Kalutara Maha Vidyalaya ) (4) කාළීන(Current Issues) (65) කුතුහලය(Curiosity) (70) කෙටි කතා (Short Stories) (1) ක්‍රිකට් (Cricket) (12) ක්‍රිකට්(Cricket) (32) ක්‍රීඩා(Sports) (20) ක්‍රෙඩිට් කාඩ්(Credit Cards) (8) ගණිත ගැටළු (Mathematical Problems) (4) ගමේ චරිත(My Villagers) (12) ගැටළු (Competitions) (2) ගීත ( Songs ) (2) ගෘහස්ථ කාරණා (Household Matters) (2) චිත්‍රපට(Movies) (3) ජීවන අත්දැකීම් ( Life Experience) (45) තාක්ෂණය(Technology) (18) දැකීම ( Observations ) (1) දැනුම(knowledge) (58) දේශපාළණ(Political) (14) නින්ද (Sleep) (2) නුවර එලිය ( Nuwara Eliya ) (1) පරිවර්තන (Translations) (39) පර්යේෂණ(Research) (16) පාපන්දු(Football) (14) පිටසක්වල ( Extra Terrestrial ) (1) පුවත් පතට ලියු (Published in Press) (1) පොත් (Books) (4) ප්‍රථමාධාර(First Aid) (1) බෙන්තොට (Bentota) (2) බෙන්තොට ක්‍රීඩා සමාජය(Bentota Sports Club) (3) බෙන්තොට බීච් හෝටලය ( Bentota Beach Hotel ) (1) මං සලකුණු ( Milestones ) (7) මගේ දුව(My Daughter) (10) මගේ පියා (My Father) (2) මගෝඩි වැඩ (Humours) (4) මට හමු වූ අමුතු චරිත Rediculous people I met (3) මට හමු වූ මිනිසුන් ( People I met ) (7) මහජන බැංකුව (People's Bank) (5) මා ලියු කවි ( My Poems ) (1) මොබයිල්(Mobile) (3) යෝජනා (Proposal) (1) රිවරිනා හෝටල් (Riverina Hotel) (3) රූපවාහිනී වෙළඳ දැන්වීම් ( TV Commercials ) (1) රෙඩ්බුල් කැම්පස් ක්‍රිකට්(Redbull Campus Cricket) (11) ලොල් කතා(Funny Stories) (55) ලෝක කුසලානය (World cup) (4) විද්‍යා ප්‍රබන්ධ( Science Fiction ) (1) විනෝදාත්මක(Entertainment) (115) විවේචන(Critics) (56) ව්‍යායාම(Excercises) (3) සංචාරක(Travel) (26) සාකච්චා(Interview) (8) සුදීක(Sudeeka) (93) සෞඛ්‍යය( Health ) (2) හැඟුම්බර(Emotional) (42) හිරුආරක්ෂණ(Sun Protection) (2) ෆේස්බුක් (facebook) (1)

අනන්තය කරා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ ......

Related Posts Plugin for WordPress, Blogger...